Sport 

මුරලිදරන් පන්දුව දමා ගසන බවට තීරණය කරමින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීම මුරලිදරන් අවමානයට ලක් කිරීමක්

Reading Time: 1 minute

වසර 1995 දෙසැම්බර් මස 26 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ආරම්භ වූ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තීරණය කරමින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීම එම තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ඩැරල් හෙයාර් විසින් මුරලිදරන් අවමානයට ලක් කිරීමක් බව ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීව් වෝ ප්‍රකාශ කරයි.

මුරලිදරන් පන්දුව දමා ගසන බවට තීරණය කරමින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීම

එම තරගයේ පළමු දිනයේ දී සිදුවූ මේ ක්‍රියාව ආන්දෝලනයට තුඩුදුන් අතර මුරලිදරන් පන්දු යවමින් සිටියදී 7 වරක්ම ඔහු නීතිවිරෝධි ආකාරයෙන් පන්දු යැවූ බවට නිගමනය කරමින් ඩැරල් හෙයාර් විසින් නිපන්දු ලෙස සංඥා කිරීම අවිනීත ක්‍රියාවක් බවත්, එය මුරලිදරන් අවමානයට ලක් කිරීමක් බවත් වෝ සඳහන් කරයි.ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීව් වෝ මේ බව පසුගියදා හෙළි කළේ ‘cricket.com.au’ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමිනි.

ඩැරල් හෙයාර් විශ්වාස කළේ මුරලිදරන්ගේ පන්දු යැවීම නීතිවිරෝධියි කියලයි

‘මං හිතන්නේ ඒක තරමක් අසාධාරණ තීරණයක්. ඩැරල් හෙයාර් විශ්වාස කළේ මුරලිදරන්ගේ පන්දු යැවීම නීතිවිරෝධියි කියලයි. එවැනි නිගමනයකට එළැඹීම අප්‍රසන්න දෙයක්. ඒක දෙවිදිහකට වර්ග කරන්න පුළුවනි. මා නම් සිතන්නේ එය ක්‍රීඩකයකුට සිදු කළ අවමානයක් වගේම අවිනීත ක්‍රියාවක්.’ ස්ටීව් වෝ කීවේය. ඩැරල් හෙයාර් මුරලිදරන්ගේ පන්දු යැවීම නිතිවිරෝධි බවට සංඥා කිරිම කල් තබා නිගමනය කර සිදු කළ එකක් බවත් ස්ටීව් වෝ කියා සිටියේය.

මුරලිදරන්ගේ පන්දු යැවීම නීත්‍යානුකූල බව ඔහුගේ අදහසය. ‘ඒක අතිවිශිෂ්ට ඉරියව්වක්.’පසු කාලීනව ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යද්දී මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා බවට පත්වෙමින් ටෙස්ට් තරග 133කදී කඩුලු 800ක් බිඳ හෙලීමට සමත්විය. එමෙන්ම එක්දින තරග 350කට ක්‍රීඩා කරමින් කඩුලු 534ක් දවාගැනිමට ද මුරලිදරන් පසුව සමත්විය.

ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීව් වෝ

ස්ටීව් වෝ මේ සිදුවීම පිළිබඳ එසේ මතකය අවදි කළත් තමා ඒ සිදුවීම මුලුමනින්ම අමතක කර දැමූ බව මීට වසර කිහිපයකට පෙර මුරලිදරන් ප්‍රකාශ කර තිබිණි. මේ සිදුවීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු යැවීමේ පරික්ෂණයෙන් සමත්වූ අතර ඔහුගේ පන්දු යැවීම නිවැරැදි බවට අයි.සී.සී.ය තහවුරු කර තිබිණි.

‘මම ඩැරල් හෙයාර්ට සමාව දුන්නා. මුලදි මා ඔහු ගැන ඉතා කළකිරීමෙනුයි පසුවූයේ. ඒත් දැන් ඒක අතීතයට එක්වී හමාරයි. මිනිස්සු වැරැදි කරනවා. මං හිතන්නේ එදා ඔහු අතින් වුණේ එවැනි වරදක්. මගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරැදි බවට තහවුරු වුණා.’ මුරලිදරන් මීට වසර 7කට පෙර එසේ සඳහන් කළේය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...