Sport 

කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන තේරිම් කමිටුව කියන කතාව

පාකිස්ථානය සමග පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ක්‍රීඩාකරන ලද ඉනිම 4දී පෙන්නුම් කරන ලද අසාර්ථකතාව හේතුවෙන් ලබන 16 වැනිදා ඉන්දියාවේ ආරම්භ වන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ව ඇතුළත් නොකිරීම සම්බන්ධව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබෙන කරුණක් බවට පත්ව තිබේ.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ජාත්‍යන්තර දිවියට සමුදීමත් සමග අංක 3 ස්ථානයෙහි ක්‍රීඩාකිරීම සදහා සුදුසුම ක්‍රීඩකයා ලෙස සැලකුණු කුසල් මෙන්ඩිස් ටෙස්ට් වරම් දිනාගැනීමෙන් පසු මේ දක්වා ක්‍රීඩා කරන ලද සියලුම ටෙස්ට් තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි. පාකිස්ථානය සමග පැවැති ටෙස්ට් තරග 2ට ප්‍රථම ටෙස්ට් තරග 20කට ක්‍රීඩා කර ඇති මෙන්ඩිස්, එහිදී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් රැස් කර ගනිමින් 35.46ක සාමාන්‍යයක් රදවා මුළු ලකුණු 1,383ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.

එමෙන්ම පාකිස්තානු තරගාවලියට පෙර පැවැති ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ශතක 2න් එක් ශතකයක හිමිකරුවා බවට පත්වූ මෙන්ඩිස්, එම තරගාවලියේදී වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිවුවැනි තැන පසුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම අනාගත බලාපොරොත්තුව බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් පාකිස්ථානය සමග පැවැති තරගාවලියේ අසාර්ථක වූ පමණින් ඉවත් කිරීම ඔහුගේ ක්‍රිකට් අනාගතය බිද දැමීමක් යැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ටෙස්ට් තරග 5 සංසන්දනය කර බැලුවද දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල සහ නායක දිනේෂ් චන්දිමාල්ව පසු වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්ව සිටින්නේ කුසල් මෙන්ඩිස් වේ. මෙම කරුණු සලකා බැලීමේදී ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා මෙන්ඩිස්ගේ සේවය ලබා නොගැනීමට තේරීම් කමිටුව කටයුතු කර ඇත්තේ කුමන පදනමකින්ද යන්න උභතෝකෝටිකයකි.

ඉන්දීය සංචාරය සදහා නම් කරන ලද කණ්ඩායමට උප නායකත්වය ද ලබා දෙමින් ළහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා ඇතුළත්ව තිබෙන නමුත්, තිරිමාන්න සහ ධනංජය දෙදෙනාම අර්ධ ශතකයක් ඉක්මවා ගොස් ඇත්තේ ඉනිම 11කට ඉහතදී වන නමුත් ඉනිම 7කට ඉහතදී ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශතකයක් රැස් කරන ලද කුසල් මෙන්ඩිස්ව ඉන්දියාව සමග පැවැත්වෙන තරග සංචාරයේදීම ඉවත් කිරීම විමතිය දනවන්නකි.

කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධව කරන ලද විමසීමකදී පිළිතුරු දුන් තේරීම් කමිටු සාමාජික ගාමිණී වික්‍රමසිංහ, “මේ තරගාවලියේදී අපි එයාව අයින් කළේ මේ තරගාවලියේදී ඔහු ඉන්න තත්ත්වයෙන් තවත් පල්ලෙහාට වැටෙන එක නවත්තන්න. ඔහුට මේ කාලයේදී විශේෂ පුහුණුවක් සහ මානසික විවේකයක් ලබා දෙමින් ඊළග තරගාවලියේදී නැවත අවස්ථාවක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි සදහන් කර සිටියේය.

-gossipbro.lk-

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...