Local 

‌අවුරුදු 22 දී එංගලන්තයේ රැජිනගෙන් සම්මානයට පවා පාත්‍ර වූ ශ්‍රි ලංකාවේ කාවින්ද්‍යා

ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව, නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා.ඒකට තමයි ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින්, දවසක ලස්සන විල් තෙරක් ගාව අපූරු අන්තයක් අපිට හමුවෙනවා. සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්.තවත් එක අපූරු ආරම්භයක්, තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.

එහෙම ගලාගෙන යන ජීවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුණාට ජීවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්. ඇය ගැන ඇයට ම කියන්න මං ඉඩ දුන්නා.

මම ඉපදුණේ නුවර. මගේ තාත්තා තමයි වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදිහට කටයුතු කරේ. එයා නීතිය අකුරට ම කරපු කෙනෙක්. ඒ නිසා ම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තාව වෙඩි තියලා මරලා දානවා.ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වුණ, දැරණියගල ටික කාලයක් ජීවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ඉස්කෝලයක් හොයාගන්න බැරි වෙන නිසා මාව ඇතුළු කරන්නේ ලයිසියම් එකට. ඉස්කොලෙන් අවුට් වෙලා, කැම්පස් යන්න මං බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්වවලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුණේ නැහැ.

ඉතින් ඉගෙනගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට ගියා. පුංචි කාලේ ගමේ මං එක්ක සෙල්ලම් කරපු මගේ යාළුවා ඒ වෙද්දී බැඳලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුණා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මං ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා, පොඩියට ඉංග්‍රීසි පංතියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී “without boarders”පළවෙනි පියවර බිහි වෙන්නේ.

පුංචි කාලේ ඉඳන් මගේ අම්මා මට තනියම ජීවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා, මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා, අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජීවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මං තනියම කාමරයක් අරගෙන, රස්සාවක් කරගෙන, උයාගෙන කාලා, ජීවත් වෙන ගමන් මගේ යාළුවෙක් වුණ සකි ආරියවංශ එක්ක “without boarders”හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නනවා.

අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතය, ප්‍රශ්න, හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ කාලෙදියි එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සඳහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක්, අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා, මං ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මං කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.

ඊළඟට ඇමරිකාවේ බොස්ටන්වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන, තුන්වෙනි අවුරුද්ද සම්පූර්ණ කරන්න මං එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. මොකද මගේ ළමා කාලය, පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුණ කාලයක්. අපිට තිබුණෙ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල, බැංකුවල සල්ලි තිබුණෙ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

මං පුංචි කාලේ ඉඳන් සෑහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉඳන් ඉස්කොලේ ඇරිලා, බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ අංකල්ගේ බුක්ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මං පුරුදු වෙලා හිටියා. ජනක අංකල් ඒ දුන්නු අවස්ථාව මගේ ජීවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ මං ලබාගත්තු දැනුමෙන්, අත්දැකීම්වලින්. මට තාම අවුරුදු විසි දෙකයි. ඒත් ප්‍රශ්න දිහා, සමාජේ දිහා මං දැක්ක විදිහ අවුරුදු 16,19,22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇඳලා ප්‍රශ්නවලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.

මට හිතෙන විදිහට ලංකාවේ තරුණ පරපුර තනියම ජීවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ සල්ලිවලිනුයි හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ම ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ වාසගමින්. බැංකුවේ සල්ලිවලින්. ගම්පළාතෙන්. මං හිතන්නේ ඒක වැරදියි. ඉස්කොලේ කාලේ වුණත් මං අපහසුතාවට පත් වුණා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත් මං කවුද කියන එක නෙවෙයි, මං කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුණත් රැල්ලට යන්නේ නැතිව ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන, නිදහස් විදිහට හිතලා, තමන් ආස දේවල් කරොත් මං හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි.

මමත් කිසි ම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුණා. ඒ වගේ ම දෙයක් වෙනුවෙන් කතා කරන්න, පෙනී සිටින්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුණත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජීවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් හරි දේ කරන එකයි මගේ අරමුණ.

පුංචිකමට කාවින්ද්‍යා වචන ගලපන විදිහට මමත් ආසාවෙන් ඇහුම්කම් දුන්නා. ඇත්තට ම ඇය වයසට වැඩිය හිතන, අත්දැකීම්වලින් පරිණත, දක්ෂ ගෑනු ළමයෙක්. හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ හම්බුණ විදිහට භාරගෙන, වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය… විඳවන ජීවිත විඳින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් දැන අඳුර ගත්තු කෙනෙක්. අපූරු චරිතයක්. වටිනා හදවතක්. අන්න ඒ නිසයි, ඇය ගැන මං සටහනක් තියන්නෙ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...