Sport 

ලංකාවට නැතිවූ ගෞරවය නැවත ලබාදුන් චන්දිමාල්

Reading Time: 1 minute

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් අබුඩාබි හි පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන ප්‍රථම පස්දින ටෙස්ට් තරගයේ නොදැවී ලකුණු 155ක් ලබා, ශ්‍රී ලංකාවට මුල් ඉනිමේදී ලකුණු 419ක් වැනි සංඛ්‍යාවකට යාමේ ගෞරවය හිමිකර දුන්නේය.

ශ්‍රී ලංකාවේ මේ දිගු ඉනිම සම්පූර්ණයෙන්ම රැදී තිබුණේ චන්දිමාල්ගේ පිතිකරණයත් සමගය.  ශ්‍රී ලංකාව ලකුණු 61ක ට කඩුලු 3ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී පිටියට පිවිසි චන්දිමාල් සිව්වන කඩුල්ලට දිමුත් කරුණාරත්න (93) සමග ලකුණු 100ක් ද, පස්වන කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල (83) සමග ලකුණු 134ක් ද, හයවන කඩුල්ලට දිල්රුවන් පෙරේරා (33) සමග ලකුණු 92ක සබඳතාවක් ද තබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළහ.  ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙම දිගු ඉනිමක් දක්නට ලැබුණේ කලකට පසුවය.

මැරතන් ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායකයා පන්දු 372ක ට මුහුණ දී හතරේ පහර 14ක් ද එල්ල කළේය.  දිල්රුවන් පෙරේරා, නායකයාට හොඳ සහයක් ලබාදෙමින් පන්දු 117ක දී හතරේ දෙකක් සමග ලකුණු 33ක් ලැබීය.  වරෙක කඩුලු 5ක ට ලකුණු 387ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසාන කඩුලු පහ දැවී ගියේ ලකුණු 32ක් පමණක් එක් වද්දීය.  එහිදී රංගන හේරත් (04) සුරංග ලක්මාල් (07) සඳකැන් (08) හා නුවන් ප්‍රදීප් (00) අඩු සංඛ්‍යාවන්ට දැවී ගියහ.

චන්දිමාල් සහ දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට ක්‍රියාකරමින් ඕවර 42ක් තුළ සබඳතාවය තබාගනිමින් එක් කළ ලකුණු ප්‍රමාණය 134කි.  චන්දිමාල්ට හා දික්වැල්ලට තරග විනිසුරුවන් කඩුල්ල මුවා කිරීමේ වරදට දුන් දැවී යාමේ අවස්ථා කිහිපයක්ම නැවත රූපවාහිනි ප්‍රතිරූපනයෙන් නොදැවුණු තීරණ බවට පරිවර්තනය විය.  චන්දිමාල්ට එම වාසනාව අවස්ථා කිහිපයකදීම ලැබිණි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...