Local 

විදුලි සේවකයන්ගේ වැඩ වර්ජනය

ලංකා විදුලි බල මණ්ඩලයේ 2015 වර්ෂය තුළ වැටුප් වැඩි කිරීමේදී මතුවී ඇති විෂමතා ඉවත් නොකිරීමට එරෙහි විරෝධය දක්වමින් පසුගිය කාලවකවානුව තුළ විදුලිබල සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණය වූහ.

විදුලි සේවක සංගම ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් එකතුව ගෙන ගිය මෙම වෘත්තීය අරගලය සම්බන්ධව විදුලි සේවක සංගමයේ සභාපති රංජන් ජයලාල් මහතා “වැඩබිම” ට අදහස් ප්‍රකාශ කරන ලදී.

* වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් විදුලි සේවකයින් අවස්ථා කිහිපයකදීම විවිධ වෘත්තීම ක්‍රියාමාර්ගවලට ගියා. එහි ප්‍රගතියක් තියෙනවද?

වෘත්තීය ක්‍රියාමාර්ග සාර්ථකයි. ඒත් ඉල්ලීම් ලැබුනේ නෑ. වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් තමයි මෙම ක්‍රියාමාර්ගයට ගියේ. ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමයත් අපිත් එක්ක හිටපු නිසා වෙනත් ලේබලයක් ගහලා මේ ගැටළුව මගහරින්න පාලකයින්ට බැරිවුණා.

* ඒත් විසඳුමක් නැතිනම්?

වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැටළුවක් ලෙස ඒ අයත් පිළිගන්නවා. ඒකත් ලොකු දෙයක්. මේ අලුත් ඉල්ලිමක් නෙවෙයි. ඇතිකරපු ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය වෙලාවෙ පාලනාධිකාරියට දුන්නු කප්පමක් විදිහටයි මේ වැටුප් වැඩිවීම කළේ. අපි පක්ෂ පාට භේදයකින් තොරව වෘත්තීය සමිති විදිහට මේ ප්‍රශ්නයත් එක්ක ඒකාබද්ධ වෙලා සිටිනවා. ඒ ආකාරයෙන්ම අජිත් පෙරේරලාත්, සියඹලාපිටියලාත් ඒ අයගේ ගැලවීම වෙනුවෙන් ඒකාබද්ධ වෙලාඉන්නේ.

* මේ ප්‍රශ්නයත් එක්ක වෘත්තීය ක්‍රියාමාර්ග ගැනුණු විදිහ සිහිපත් කළොත්?

පෙබරවාරි මාසයේ උද්ඝෝෂණයක්. මාර්තු මාසයේ 15 දා ලෙඩ නිවාඩු දැමීමක්. අප්‍රේල් මාසයේ 06 දා වැඩවර්ජනයක් කරා. ඒත් අපි ඒ සෑම අවස්ථාවකදීම විදුලි බිඳ වැටීමක් නොකරන්න පරිස්සම් වුණා. එහෙම කළේ ඒක දැනෙන්නෙ අපේ වගකිව යුත්තන්ට නොව රටේ සාමාන්‍ය ජනයාට වීම හන්දයි. ඒත්

පදියතලාව වගේ  දුෂ්කර පළාත් ප්‍රමාණයක ජලය, සෞඛ්‍ය ඇනහිටියා. අපි වැඩ කළත් නොකළත් එහෙ බිඳ වැටීම් වෙනවා. ඒත් ඒ ආකාරයෙන්ම ඉදිරි ක්‍රියා මාර්ග ගන්න බෑ.

* ඉදිරි ක්‍රියාමාර්ග මොනවගේ වෙයිද?

අප්‍රේල් 6 වැඩවර්ජනය කෙරුවේ මාර්තු කරපු වෘත්තීය ක්‍රියා මාර්ගය කළ අයට මර්දනය දියත් කර තිබුණු හින්දා ඒකටත් ප්‍රතිචාරයක් හැටියටයි. අපට යම් බලපෑමක් කරන්නට සිද්ධවුණා. ඒත් දිගින් දිගටම මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් සේවකයින්ගෙන් පලිගන්නවා. සමහර පළාත්වල ක්වාටස්වල පිරිස් අයින්කරලා වෙනත් අය දාලා. සමහර අයට දඬුවම් මාරුවීම්. විනය පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙතනදී වැටුප් විෂමතා ප්‍රශ්නයම තමන්ගේ  වාසියට හරවා ගන්න ආණ්ඩුව පිළියම් යොදලා තියෙනවා.

* ඒක කොහොමද සිද්ධවෙන්නේ?

ඉංජිනේරු සේවකයින්ට කියනවා ඔයගොල්ල ගන්න පඩිය නීති විරෝධීයි. ඒකඔප්පු වෙලා තියෙනවා. ඒක අපි නැවත අයකර ගන්නවා. ඒ සම්බන්ධයෙන් තමා විදුලි සේවකයින්ගෙන්  විරෝධය එන්නේ. ඉතිං ඒකත් එක්ක ගැටළුවක් ඇති නොවන්නනම් විදුලි සේවක විරෝධය නැවැත්විය යුතු බව ආණ්ඩුව විදුලිබල පාලනාධිකාරියේ ඉංජිනේරු අයට පෙන්නලා දෙනවා. සාමාන්‍යාධිකාරී නියෝජනය කරන්නෙත් ඉංජිනේරු සංගමය. සභාපතිට තිබූ බලතලත් දැන් වෙද්දී සාමාන්‍යාධිකාරීට පවරාගෙනයි තියෙන්නේ. ඉතිං ඒ අය වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කරන්න ඇතුළෙන්ම උපරිම සහය දෙනවා.

*කොහොමද වැටුප් විෂමතාව නිර්මාණය වුණේ?

2014 නොවැම්බර් 27 සාකච්ඡාවක් කරලා පඩිවැඩිවීමක් දුන්නා. දෙසැම්බර් 1 දවස් තුනකට පසු සාමූහික ගිවිසුම අත්සන් කළා. විදුලිබල මණ්ඩලයේ ඒ වෙද්දි  ලැබෙන වැටුප මත 30%ක වැටුප් වැඩිවීමක් . වසර 3ක් යනතුරු වැටුප් වැඩිවෙන්නේ නෑ. බෝනස් එක ලෙස ලැබුණු එක් වැටුපක මුදලට වැටුප් එක හමාරක් ලබාදෙන්නත් ඒකේ විධිවිධාන තිබුණා. හරි ශෝක් කියලා කට්ටිය අත්සන් කළා. 2015 ජනවාරි 08 වෙද්දි බලය එහා මෙහා වෙන ගතියක් තිබ්බා. ඉංජිනේරු සංගමය ඊ-මේල් එකක් හදලා එහාට මෙහාට යවලා උප්පර වැට්ටියක් යෙදුවා. ජනවාරි 10 වෙද්දි වැටුප් සකසන්න ඕන ජනවාරි 20 පඩි ගන්නනම්. ඒ නිසා වහා චක්‍ර ලේඛනය හදලා ගණකාධිකාරීට යොමුකරලා තිබ්බා. ඒ වෙලාවෙ  මේ අයට 30%න් නොව 70% සිට 120% දක්වා වැටුප් වැඩිවෙන ලෙස චක්‍ර ලේඛනය සාදා ඇති බව ගණකාධිකාරී ප්‍රසිද්ධ කළා.ඒත්  මේ ගැන කතා කරන්න කවුරුවත් නෑ. ඡන්දය දාන්න ගිහින්. සමහරු වරුවෙන් ඇවිත්. පහුවදා 09 වෙද්දි මහින්ද පරාද බව දැනගත්තා. ඉංජිනේරු සංගමයේ රොහාන් සෙනෙවිරත්න කියන්නේ දැන් රත්මලාන ශාඛාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී.  එයා හිටියේ ගෝඨාභය රාජපක්ෂයේ සමීපවන්තයකේ විදිහටයි.

බයවෙනන එපා අනුමැතිය නැතිවුණාට අරන් දෙන්නම් කියලායි මෙයා චක්‍ර ලේඛය හදලා තියෙන්නේ. මං සී.අයි.ඩී එකට මේ ගැන පැමිණිල්ලක් දැම්මා. ඒකෙන් මට උත්තරයක් හැටියට ආව ලිපියේ තිබුණේ බැලූ බැල්මට මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලයි.  ඒ නිසා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් දාන්න කීවා. වැල්ලවත්තේ. මං දැම්මා. අල්ලස් කොමිසමටත් පැමිණිලි කළා. ඒ අය ඒක යට ගැහැව්වා. වැල්ලවත්ත අපරාධ කොට්ඨාසයෙනුත් පරීක්ෂණ කරා අද වෙනකල් උත්තරයක් නෑ.

* ඉංජිනේරු අයට විතරද මේ ආකාරයේ විශාල ප්‍රතිශතයකින් වැටුප් වැඩවුණේ?

ඔව්. විධායක ශ්‍රේණියේ එකවුන්ට්ස්ලට හෝ මානව සම්පත් අයට නෑ. ඉංජිනේරු නොවන විධායක කාටවත් නෑ. 70%-120% දක්වා වැටුප් වැඩිවීමක් ලැබුණේ ඉංජිනේරු සේවා අයට විතරයි. 120 % කියන්නේ සාමාන්‍යාධිකාරීටයි. පහලම ඉංජිනේරුවට 70%යි. අනෙක් අයට 30%යි.

* ඉදිරි ක්‍රියාමාර්ග මොනවගේ වෙයිද?

වැඩවර්ජනයක් අනිවාර්යයි. එතැනින් මෙපිට විසඳුමක් ලැබෙන්නේ නෑ. එළඹෙන අප්‍රේල් 26 වන දින දවල් 12ට රැස්වෙන වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව දින වකවානු හා එහි ස්වරූපය තීන්දු කරනවා.

උපුටා ගැනීම -wedabima.lk

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...