Sport 

‌ශ්‍රි ලංකා පිලට නව අභියෝගයක්

Reading Time: 1 minute

COMMENTS
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය රැකගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් ඉලක්කයක් දී තිබේ. එනම් එක්දින තරගයකදී ලකුණු ලබා නොගන්නා පන්දු සංඛ්‍යාව 50% සිට 15% – 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම වැඩිකිරීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා අද (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව හෙළිදරව් කළේය.

ක්‍රීඩයින් හට ලබාදී ඇති පුංචි පුංචි ඉලක්කයන් පිළිබඳව පැහැදිලි කරමින් ගුණවර්ධන මහතා පවසා සිටියේ මාස 12 ක කාළයක් පුරා ඉනිමක ලකුණු ලබානොගන්නා පන්දු සංඛ්‍යාව 145 ක් බවත් එය තරගයේ යවන පන්දු සංඛ්‍යාවෙන් 50% ආසන්න සංඛ්‍යාවක් බවයි. එය 15% – 20% පමණ අඩුකර තනි ලකුණු ලබාගැනීම 20% කින් වැඩි කිරීමට උත්සාහ ගන්නා බවද ගුණවර්ධන මහතා පැවසීය.

කණ්ඩායමේ සිටින පළමු පිතිකරුවන් පස්දෙනා හෝ හයදෙනාගෙන් එක් අයකුවත් ඕවර 45 ක් ගතවනතුරු කඩුල්ලේ රැඳී සිටීමටත් ලකුණු 100 ක සම්බන්ධතාවයක් සහ ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පුංචි පුංචි ඉලක්කයන් සපුරාගැනීමට හැකිවුවහොත් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා කණ්ඩායම රැගෙන යාමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ඇති බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිටත් ඉන්දියාව හමුවේ තරග 4-0 ක් ලෙස පරාජයට පත්වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (03 වැනිදා) තරගය තීරණාත්මක තරගයක් වනු ඇත. හෙට තරගය ජයගතහොත් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ප්‍රසාද ලකුණු 88 රඳවාගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන නමුත් තරගය පරාජය වී තරගාවලිය 5-0 ක් ලෙසින් පරාජය වුවහහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87 දක්වා පහළ බසී. එය තරමක් අවදානම් සහගත තත්ත්වයකි.

හෙට පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගය මෙහෙයවීමේ වගකීම තරග දෙකක තහනමකට ලක්වූ උපුල් තරංග නායකයා ලෙසින් නැවතත් කණ්ඩායමට එක්වන අතර ඔහු යළිත් වරක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පිවිසීමට සූදානමින් සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දිනවල පුහුණුවීම් කටයුතු වලට වඩා මානසිකත්වය හදා ගැනීමට උනන්දු වූ බව අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. කණ්ඩාමේ වැඩිවශයෙන් සිටින්නේ තරුණ ක්‍රීඩකයින් බැවින් ඔවුන් තමන්ගේ අඩුපාඩු ඉගෙනගත යුතු බවත් ඒවා ඉක්මනින්ම හදාගතයුතු බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...