Sport 

ලංකාවේ ක්‍රිකට්වල තිත්ත ඇත්ත

උද්ගෝෂණ හා අවේගී කතා මැද ඇත්තටම ක්‍රිකට් වලට වෙලා තියන දේ ගැන තේරෙන සිංහලෙන් කියපු ලිපියක් ෆේස්බුක් අඩවියේ තිබී හමුවුනා.ඉවසීමේ සිමාව පැන්නා කියලා ඉන්දියානුවන් වගේ දෙකේකොලේ හැසිරීම අනුමත කරන අයට මේක හොද ලිපියක් මොලේ පාදගන්න

ඊයේ දඹුලේ විරොධතාවය

” ඔබ විශිෂ්ඨයෙකු වන්නට නම් ඔබ විශිෂ්ඨයකු බව සිතිය යුතුය. විශිෂ්ඨයකු වීම සඳහා ඔබ ගමන අරඹන්නේ එතැනිනි.” – මොහොමඩ් අලී.
” භාතිය, ලංකාවේ ක්‍රිකට්වලට වෙලා තියෙන්නේ මොකක්ද ද ? ඇයි අපි මෙහෙම පරදින්නේ. උඹට හිතෙන විදිය කියපං. මම හරි ද වැරදි ද කියන්නම්.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ මගේ සමීප හිතවතෙකු මගෙන් පසුගිය දා විමසුවා.
“වෙලා තියෙන්නේ මෙච්චරයි. ඉස්සර හිටපු ක්‍රීඩකයෝ සනත් වුණත්, අරවින්ද වුණත්, මහේල උනත් සංගා වුණත්, ක්‍රිකට් ගහන ගමන් තමයි ජීවිතේ වින්දේ. නමුත් දැන් ඉන්න ක්‍රීඩකයෝ කරන්නේ ජීවිතේ විදින ගමන් ක්‍රිකට් ගහන්න හදන එක. ක්‍රිකට් ගහන ගමන් ජීවිතේ විදින්න කෙනෙක්ට පුළුවන් සාර්ථක ක්‍රීඩකයෙක් විදියට. හැබැයි මචං ජීවිතේ විදින ගමන් ක්‍රිකට් ගහන්න ගියොත් එයාට සාර්ථක වෙන්න බෑ.ඕක තමයි මගේ අදහස. ” මම විවෘතව මගේ හිතවතාට කිව්වා. මගේ හිතවතා 100% ක් මගේ අදහසත් එක්ක එක්ක එකග වුණා. ක්‍රිකට් පරාජයන් පිළිබදව මේ වෙලාව පරිපාලකයින්ට, ක්‍රීඩකයින්ට සහ සහායක කණ්ඩායම්වලට චෝදනා වෙන් වෙන්ව පාස් වෙන වෙලාවේ, පරදින්න හේතු ගැන මට දැනෙන දේ කියන්න හිතුවේ ඒ නිසා. තාමත් මේ අවුල් විසදගන්න ක්‍රමයක් ගැන කිසිවෙක්ට අවබෝධ වෙලා තියෙනවා කියලවත් හිතෙන්නේ නෑ.


#අවුල්වෙච්ච_නූල්බෝලේ_හරිකොණ_අල්ලගන්න.
ක්‍රීඩාවේ කතාවක් තිබෙනවා, අද ඔබ පුහුණුව දිනුවොත් විතරයි හෙට ඔබ තරගය දිනන්නේ කියලා. ඒ අනුව අද මේ ලබන පරාජයන්ට හේතුව අද මේ පහුගිය මාස කීපයේ අපි කරපු දේවල් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ අපි කරපු වැරදි භාවිතයන්.
අද ඉන්න ක්‍රීඩකයින්ගේ කැපවීම ගැන බරපතල ගැටළුවක් තිබෙනවා. ඒක පටන් ගන්නේ ජාතික කණ්ඩායමට ඔවුන් සම්බන්ධ වෙන තැන ඉදන්. කවුරුත් මේක විග්‍රහ කරගෙන තිබෙන බවක් පේන්න නෑ. ඇත්ත කතාව තමයි සාමාන්‍යයෙන් ඔය ක්‍රීඩකයෙක් ක්ලබ් ලෙවල් එකේ ක්‍රිකට් ගහලා, සංවර්ධන සංචිතයේ නැත්නම් ඒ ටුවර් එකක් කරලා අනුග්‍රාහකයින්ගේ දායකත්වයත් එක්ක උපරිම ටීම් එකට එනකම් හම්බ කරන්නේ මාසෙකට රුපියල් 100,000 ත් 150,000 ත් අතර මුදලක්. නමුත් මේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ආවායින් පස්සේ වන්ඩේ මැච් එකක් ගැහුවොත් ෆී එක ලක්ෂ පහකට වැඩියි. පනහක් ගැහුවොත්, සීයක් ගැහුවොත් ලක්ෂ ගණනින් මුදල්. සාමාන්‍යයෙන් ටුවර් එකක් ඉවරවෙනකොට ගිවිසුමෙන් ලැබෙන ලක්ෂ ගණනකට වැටුපට අමතරව ලේසියෙන් ලක්ෂ 70 ක් 80 ක් නම් ගොඩ දාගන්න සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට පුළුවන්.


එහෙම නොහිතපු විදියේ මුදල් කන්දරාවක් අතට ලැබෙනකොට ඔය යොවුන් ක්‍රීඩකයෝ තමන්ගේ චර්යා රටාව එහෙම්ම පවත්වගෙන යයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඒක මනෝ විකාරයක්. හිතන්න ඔවුන්ගේ අවට සමාජය වෙනස් වෙනවා. නොහිතපු විදියට තමන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. නොහිටපු යාළුවෝ තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. ෆේස්බුක් එකේ, ට්විටර් එකේ හිටපු නැති යෙහෙලියෝ හායි කියන්න පටන් ගන්නවා. ක්‍රීඩකයා එන්නේ අමුතුම ලෝකෙකට. අමතක නොකල යුතු කාරණය තමයි ක්‍රීඩකයෙකුගේ සාර්ථකත්වය කියන්නේ ගෙයක් කුලියට ගත්තා වගේ වැඩක්. ඔහු කලින් වෙච්ච මහන්සියේ හැටියට ඔහු දක්ෂතා අතරට ආවා වෙන්න පුළුවන්, නමුත් ඔහු දක්ෂතා අතර ඉන්න නම්, දිගින් දිගටම සාර්ථක වෙන්න නම්, ඔහුට දිගින් දිගටම කැපවීම් කරන්න වෙනවා. එහෙම නොවුනොත් ඔහුට සාර්ථකත්වය අහිමි වෙනවා. හරියට කුලිය ගෙව්වේ නැත්නම් ගෙදරින් යන්න වෙනවා වගේ. මම මේ කතාව සංජීව රණතුංගත් එක්ක කිව්වා. ඔහු පස්සේ දවසක ඒක සිරස ටීවී එකේ කියලා තියනවා මම දැක්කා. ඉස්සර ක්‍රීඩකයෝ නෙට් එකේ බැට් කරලා එලියට ඇවිල්ලා අහන්නේ හරියට පාර වැදුනද? බැට් එකේ මැදට බෝලේ ගත්ත ද? ෆුට් වර්ක් එක හරියට වුණා ද වගේ ඒවා. ඒත් දැන් සමහර ක්‍රීඩකයෝ ( හොදම මතක තියාගන්න සමහර හොදේ..) බැට් කරමින් ඇවිල්ලා හිතවතාට කියන්නේ අන්න මචං අතන ඉඩමක් තියෙනවා අඩුවට අරන් දාපන් වගේ කතන්දර. දැන් තියෙන ප්‍රැක්ටිස් එක Mind+Body+Soul තුනම එකට එකතු කරලා කරන ප්‍රැක්ටිස් එකක් නෙවෙයි. ගතින් ඉන්නේ ප්‍රැක්ටිස් එකේ උනත් හිතින් ඉන්නේ වෙන වෙන ලෝකවල. ක්‍රිකට් කණ්ඩායමේ අපේ දරුවෝ කවුරුහරි මේක දැක්කොත් හිතලා බලන්න. ඕක තමයි තිත්ත ඇත්ත.
ඔය සාර්ථකවීමට අවශ්‍ය වැදගත්ම සාධකය තමයි විනය පවත්වා ගන්නවා කියන්නේ. විනය කියන්නේ පිට්ටනියේ හැසිරෙන විදිය විතරක් නෙවෙයි. කන බොන එකත් විනයේ කොටසක්. තමන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස බර වැඩි කරන ආහාර පාලනය වගේම, මහ රෑ දෙගොඩ ජාමේ ඇහැරගෙන සෝෂල් මීඩියාවල ලගින්නේ නැතුව නිදාගන්න එකත් විනයේම කොටසක් තමයි. ( ක්‍රීඩකයෙකුට අවම වශයෙන් පැය 08 ක නින්දක් ඕනේ. ඇහැරගෙන ඉන්නවා කියන්නේ energy waste එකක්. අනික ඇග ඇතුලේ recovery එක හොදටම වෙන්නේ නින්දේදී.) මම දැක්කා මහාචාර්ය අර්ජුන් ද සිල්වා කියලා තියෙනවා අපේ ක්‍රීඩකයෝ මහ රෑ දෙගොඩ ජාමේ ඔන් ලයින් කියලා. සහතික ඇත්ත. මම ඒක දැකලා තිබෙනවා. මහාචාර්ය අර්ජුන් කෙලින්ම චෝදනාව දාලා තිබ්බා ක්‍රීඩකයින්ට. ඒ වගේම අසංග ගුරුසිංහ කණ්ඩායම් කලමණාකාරීත්වයත් මේ ලගින් යන චෝදනාවක් ක්‍රීඩකයින්ට කරලා තිබුණා. (වරද දැක්කට මදි. එහෙම වෙන්න හේතුවත්, ඒවා වලක්වන්නේ කොහොමද කියන එකත් කියන්න. මතක තියාගන්න. අයිස් කුට්ටිය වතුරේ පාවෙද්දි උඩ තියෙන කෑල්ල ඕනෑම කෙනෙක්ට පේනවා. නමුත් දරුණුම කොටස තියෙන්නේ වතුරෙන් යට. වරද වගේම එහෙම වෙන්න හේතුත් දකින්න.)


#නමුත්_ඔවුන්ට_චෝදනා_කරන්න_එපා
නමුත් මම මේකෙදි ක්‍රීඩකයින්ට විතරක් තනි කරලා ගහනවාට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සමහර හිටපු ක්‍රීඩකයෝ කියනවා අපි නම් ඒ කාලේ ඔය විකාර කලේ නෑ, ගහන ක්‍රිකට් එක හරියට ගැහුවා කියලා. ඇත්ත. හේතුව එදා තත්ත්වෙයි අද තත්ත්වෙයි වෙනස්. එදා මේ වගේ සෝෂල් මීඩියා තිබුණේ නෑ. එදා මේ වගේ ප්ලේයර්ස්ලට ගෙව්වේ නෑ. එදා මේ වගේ ක්‍රීඩකයින්ට ලංවෙන්න පරිබාහිර පුද්ගලයින්ට ලේසි වුණේ නෑ. කොටින්ම කිව්වොත් ෆෝකස් එක ගේම් එකේ තියාගෙන ගහන්න පිටින් ආපු බාධාවල් අඩුයි. ඒ නිසා එදා තත්ත්වය සහ අද තත්ත්වය සන්සන්දනය කරන එක නම් හරිම වැරදි ක්‍රියාවලියක්.
මේවා හරියට තේරුම් අරන් කලමණාකරණය කරන්න තමයි ක්‍රිකට් ආයතනය තියෙන්නේ. ක්‍රීඩකයින්ගේ දක්ෂතා කලමණාකරණය කියන්නේ වෙනම විෂයක්. ඒකෙදි දැනට වෙන්නේ ක්‍රීඩකයින්ගේ ශාරීරික හැකියාවන් කලමණාකරණය කරන්න එක එක වැඩපිලිවලවල් ක්‍රියාත්මක වෙන එක විතරයි. නමුත් ලෝක මට්ටමේ දී කය සූදානම් කරනවා වගේම මනස සූදානම් කරන්න වෙනම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙනවා. දක්ෂ ක්‍රීඩකයෙක් විදියට කටයුතු කරද්දි මැච් එකේ දි වැටෙන බවුන්සර් එකට වගේම, සමාජයේ දී තමන්ව හොයාගෙන විනාශ කරන්න එන බවුන්සර් එකට මුහුණ දෙන්නේ කොහොමද කියලත් ක්‍රීඩකයින්ට කියලා දෙන්න ඕනේ.
මේකට මම ක්‍රිකට් බෝඩ් එකට සම්බන්ධ මගේ ළගම හිතවතුන්ට අවස්ථා කිහිපයකදි යෝජනා ඉදිරිපත් කලා. මේ සීනියර් ටීම් එකෙන් අමාරු නම්, ළමයි 17 න් පහල ඉදන් විවිධාකාරයේ තැන්වලදි බෝඩ් එකත් එක්ක සංචිත වෙනවා. අන්න ඒ වගේ තැන්වලදි ඔවුන්ගේ Mental Fitness එක වෙනුවෙන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. ඔය කාලසීමාව තමයි ඔය ලමයි ග්‍රවුන්ඩ් බෝයිටත් සර් කියන කාලය. ඔය කාලසීමාවේ ළමයිනේගේ ඔළු හදලා ගන්න වැඩපිලිවෙලක් හැදුවා නම් අද ක්‍රිකට් එකේ වෙලා තියෙන සන්තෑසිය හෙට වෙන්නේ නෑ. how to deal with social media වගේ දේවල් ඔවුන්ගේ ඔළුවට දාන්න ඕනේ ඒ කාලෙට. ගෝල් එකක් හදාගන්නේ කොහොමද, පියවරෙන් පියවර එතන්ට යන්නේ කොහෙමද? ලෝකේ එහෙම ක්‍රීඩකයෝ හැදුනේ කොහොමද වගේ ඒවා කොටලා පොවන්න පුළුවන් කාලේ තමයි ඒ.


සනත් එක තැනකදි කියලා තිබ්බා ක්‍රීඩකයෝ මාරු කරන්න වෙලා තියෙන්නේ ඒ ගොල්ල ඉස්සර වගේ කැපවීම නෑ, ඒ නිසා හරි අය ගන්න විවිධ අත්හදා බැලීම් කරන්න වෙනවා කියලා. කොච්චර අත්හදා බැලුවත් මේ අය ගන්න වෙන්නේ එකම කාණ්ඩයකින්. අයින්ස්ටයින් කියනවා එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ උන්මත්තකයෝ කියලා. ළමයින්ගේ ඔළු හදන්නේ නැතුව සනත්ට වෙනස්ම එකෙක් ගේනවා නම් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන් තමයි. එතකොට ක්‍රිකට් ආයතනය කියාවි අපි දැනටමත් ඒක කරනවා කියලා. ඇත්ත කරනවා. එක්කෝ සුද්දෙක් දාලා. ඌ කියන ඒවා මේ ළමයින්ට තේරෙන්නේ නෑ. දෙක, ඒක කරන්නේ ඒ විෂයේ ප්‍රවීණයෝ නෙවේ. තේරීම් කමිටුවේ සාමාජිකයෝ. එහෙම නැත්නම් මැනේජර්ලා. බල්ලගේ වැඩේ බූරුවා කලාම ඇතිවෙන තත්ත්වය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
මතක තියාගන්න වරක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වත්මන් ප්‍රධානී මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුගෙන් ( කලින් වතාවේ බලය දරනකොට) මාධ්‍යවේදියෙක් ඇහුවා මේ තරගාවලියකට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමක මානසික ශක්තිය නංවන්න මොනාද කලේ කියලා. එතුමා දුන්න උත්තරේ උනේ ආ අපි ඒ ළමයින්ට හාමුදුරු කෙනෙක් ගෙන්නලා, පිරිතක් කියලා ආශිර්වාද කලා කියලා. ලංකාවේ ක්‍රීඩා පරිපාලකයෝ ක්‍රීඩා අභිප්‍රේරණය ගැන ඉන්නේ ඒ වගේ ඉතාමත් ප්‍රාථමික තැනක.
#බෝඩ්_එකේ_වගකීම
බෝඩ් එකේ මතුවෙලා තියෙන පරිපාලනයේ අවුල් සහගතබව ගැන මම කතා කරන්න යන්නේ නෑ. ඒක නික් පෝතාස් වැනි පන්දු රැකීමේ පුහුණුකරණයේ අන්තිම අදක්ෂයෙක් ලෙස පට්ට ගැහිච්ච පුද්ගලයෙක් වැඩබලන පුහුණුකරු ලෙස පත් කිරීම හරහාම පේන්න තියෙනවා. නමුත් මට යමක් කීමට තිබෙනවා යලිත්.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයන් කියන්නේ කැද හැලි. එදා අද කියලා වෙනසක් නෑ, හැමදාමත් එහෙමයි. හැබැයි අපේ ක්‍රීඩකයෝ පරිපාලනයන් මීටත් වඩා අවුල් උනාය කියන වෙලාවල්වල ක්‍රිකට් දිනුවේ නැද්ද? ලෝක කුසලාන අවසන් තරගවලට ආපු වෙලාවල් හැම එකම ක්‍රිකට් පරිපාලනයේ ස්වර්ණමය යුගයන් ද? පරිපාලනය කියන්නේ තීරණාත්මක එක සාධකයක් විතරයි. නමුත් ක්‍රීඩකයෝ හරියට ඉන්නවා නම්, ඒ ලෙවල් එකට ක්‍රීඩකයෝ හදලා තියන්න පුළුවන් නම්, පාලනය අදාලම නෑ. ක්‍රිකට් දිනනවා. හැබැයි ක්‍රීඩකයෝ එතැනට හදන එක පාලකයින්ගේ වැඩක්.


#If_You_Want_the_Price
if you want the price you have to pay the price. ඔබට යමක් අවශ්‍ය නම් ඒ සදහා අවශ්‍ය මිල ගෙවන්නම වෙනවා. ඔබට ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් කරන කැපවීමට, උන්නදුවට, ඔවුන්ගේ තරග සැලසුමට වඩා කැපවීමක්, උනන්දුවක් වගේම සැලැස්මක් තියෙන්න ඕනේම වෙනවා.(කෝලි කියන්නේ ප්‍රැක්ටිස් එකේදි යකෙක්. ෆිට්නස් ට්‍රේනිං බඩ අල්ලන් කකුල අල්ලන් නවත්තන්න කාටවත් බෑ. කැප්ටන් කරනවා නම් අනික් උන්ට බැරි ඇයි? කෝලිගේ තර්කේ ඒක.ඉතිං එහෙම එකෙක්ගේ ටීම් එකක් පරද්දන් මෙහෙම බෑ.) ඒකයි මම මුලින්ම කිව්වේ ඔබ පුහුණුව දිනුවේ නැත්නම්, ඔබට තරගය තුල දිනීමක් නෑ කියලා. යුසෙයින් බෝල්ට් කියන්නේ තරගයෙන් 90% ක් කියන්නේ ගෙදර වැඩ. ඉතුරු 10% තමයි තරගය කියලා. ඔය සරළ තර්කය තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ.
මතක තියා ගන්න. පැටලිච්ච නූල් පන්දු ලෙහන්න පුළුවන් ක්‍රමේ එකයි. කොණ හොයා ගන්න එක. දැන් හරි මේක ලෙහන්න පටන් ගන්න. පාලකයින්ටත්, ක්‍රීඩකයින්ටත් කියන්ඩ තියෙන්නේ ඔච්චරයි.
ප.ලි – රටක් විදියට පරදිනකොට ඔබේ අැස්වල කදුලු එනව ද කියන්න මම දන්නේ නෑ. ලංකාවේ ජාතික ධජය ඔසවන හැම වෙලාවකම ඇහැට කදුලු එන මිනිහෙක් මම. ජාතික ගීය තරම් ඇගේ හැම නහරයක්ම විනිවිද යන්න පුළුවන් වෙනත් ගීයක් මට නෑ. මේ පරදින්නේ ක්‍රිකට් නෙවේ. මේ පරදින්නේ මගේ රට. ක්‍රිකට් ඔබට වෘත්තියක් ජීවනෝපයක් වෙන්න පුළුවන්. හැබැයි මේක ක්‍රිකට් කියන්නේ ජීවිතේ කරගත්තු මිනිස්සු ජීවත් වෙන රටක්. පැරදුනාම හෘදයාබාධ හැදිලා මිනිස්සු මියැදෙන රටක්. කරුණාකරලා පාලකයෝ වගේම ක්‍රීඩකයොත් ඒ ගැන හිතන්න. මේ මිනිස්සු ඈත් උනොත් නැවත ලංකරගන්න එක ලේසි නෑ. ක්‍රිකට් පැරදුනත් රට පරද්දවන්න එපා. බොක්සිං ක්‍රීඩාවේ නියතියක් තිබෙනවා. ඒ තමයි ගහන පාරට වැටුනට පරදින්නේ නෑ. නොනැගිටොත් තමයි පරාද. දික්කා, තරංග, මාලි, ධනුෂ්ක, මැතිව්ස්, කපූ, සදකැන් මේ හැමෝම, නැගිටින්නේ කොතනින්ද කියලා හිතන්න. ඔබ නැගිට්ටොත් කිසිවෙකුට පාලනය කරන විදිය හිතාගන්න බැරි බව මතක තියාගන්න.
මේක ක්‍රීඩාවට ආදරෙන් ලියපු ලියැවිල්ලක්. ඒක වැරදි විදියට ගන්න එපා. කා එක්කවත් පෞද්ගලික ඇරියර්ස් නෑ. තිබ්බත් එව්වා මූණට මිසක් මේ වගේ ලියවිලිවල ලියන්නේ නෑ. වෙලාව ආවහම හැමදේම කියනවා. එතකම් මේ ඇති.

 

උපුටා ගැනීම-Bhathiya Arthanayake

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...