Local Sport 

ලංකාව ඉන්දියාවට විරුද්ධව ගහන අලුත්ම ප්ලැන

Reading Time: 1 minute

සංචාරක ඉන්දීය පිල සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව දැනටමත් 2-0කින් පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට ප්‍රතිවාදී පන්දු යවන්නන් මෙල්ල කරගැනීමේ අරමුණ ඇතිව පිතිහරඹ රටාව වෙනස් කිරීමට සැලසුම් කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 304කින් ද, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 53කින් ද ජයගෙන ශ්‍රී ලංකා භූමියේ සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිල මෙල්ල කරමින් ටෙස්ට් තරගමාලාව පූර්ණ වශයෙන් පරාජයට පත්වීමෙන් බේරීමට ශ්‍රී ලංකා පිල මෙවැනි උපක්‍රමයක් කල්පනා කරමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම වේගපන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් සහ ප්‍රබලතම දඟපන්දු තුරුම්පුව වන රංගන හේරත් ආබාධ හේතුවෙන් අනිද්දා පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකිරීමේ පාඩුවත් මෙවැනි පිතිහරඹ සැලසුමකින් මඟ හරවා ගැනීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වී තිබේ.

එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ඉනිමේ අගභාගය ශක්තිමත් කරමින් නොදැවී ලකුණු 70ක් රැස් කරමින් ද, සිය දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් මුලා කරමින් කඩුලු 5ක් දවාලමින්ද තරගයේ වීරයා බවට පත්වූ රවීන්ද්‍ර ජඩේජාට පල්ලෙකැලේ ටෙස්ට් තරගය තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීම නිසා ඉන්දිය පන්දු යැවීමේ බලඈණිය තරමක් සසලවී ඇති බැවින් එහි වාසිය සියතට ගැනීමත් ශ්‍රී ලංකා පිලේ අරමුණ බවට පත්වී ඇත.

ඔහු වෙනුවට කණ්ඩායමට එක්වී සිටින දඟපන්දු යවන අක්ෂාර් පටේල් නවක ක්‍රීඩකයකු බැවින් පල්ලේකැලේ තරගයේදී වැඩි බරක් දැරීමට ඉන්දීය පිලේ සුපිරි දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින්ට සිදුවී තිබීම ඔහුට වැඩි පීඩනයක් ගෙන දෙන කරුණක් බවට පත්වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය වෙනස් අයුරින් සැලසුම් කර අශ්වින් දැඩි ප්‍රහාරයකට ලක් කිරීමෙන් ප්‍රතිවාදීන් මෙල්ල කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

එවැනි ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවිය හැකි පිතිකරුවන් කිහිපදෙනකුම ශ්‍රී ලංකා පිලේ සිටින බැවින් එම සැලසුම සාර්ථක කරගත හැකිවනු ඇතැයි ද කණ්ඩායම තුළ දැඩි විශ්වාසයක් ඇතිවී ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන් අනූව දශකයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබලතම පන්දු යවන්නන් සිය ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් මෙල්ල කළ ශ්‍රී ලංකා පිලේ හිටපු විශිෂ්ට පිතිකරු අරවින්ද ද සිල්වාගේ පිතිහරඹ රටාව ඉස්මතු කළ හැකි වර්ගයේ පිතිකරුවකු ලෙස සැළකෙන හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පල්ලෙකැලේ ටෙස්ට් තරගයේදී අංක 4 පිතිකරු ලෙස උසස්වීමක් ලබාදී එවැනි ප්‍රහාරයක් කරා ඔහු යොමුකරවීමට ද කණ්ඩායමේ සැලසුමක් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන මැතිව්ස් නායකත්වයේ පීඩනයෙන් මිදී සිටින බැවින් ඔහුට නිදහසේ එවැනි ප්‍රහාරයකට යොමුවීමට ඇති හැකියාව කෙරෙහි ද කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව මැතිව්ස් ක්‍රමයෙන් සිය පිතිහරඹය වේගවත් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන අතර ඉන්දියාව සමග ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් පන්දු 130කින් රැස් කළ ලකුණු 83ට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර ඉන්දියාව සමග එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පන්දු 33කදී ලකුණු 26ක් රැස් කරනු ලැබුවේ හතරේ පහර2ක් සහ හයේ පහර 2ක් සමගිනි. එමෙන්ම පන්දු 66කින් ලකුණු 33ක් රැස් කළ දෙවැනි ඉනිමේදී ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...